Monday, June 8, 2015

මොකක්ද මේ දිවුල්ගනේ සොබා සංසදය?. - What is Divulgane Nature Society?


හැඳින්වීම 

දිවුල්ගනේ යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතට කුරුණෑගල දිස්ත්‍රික්කයට, ගල්ගමුව මැතිවරණ බල ප්‍රදේශයට සහ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානයකි. පැරණි භූමි සිතියමවල දැක්වෙන අන්දමට ‛වන්නි හත්පත්තුව’ නමින් හැඳින්වුණු සීමාව තුළ පිහිටි මෙම ගම්මානය සතුව ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසෙන් ඇරඹෙන ඉපැරණි ඉතිහාසයක් ඇත. ඒ බව එම ගමේ පිහිටා ඇති දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජ මහා විහාර භූමියේ අදත් දැකිය හැකි ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ පමණ සිට මහනුවර යුගයේ අග භාගය දක්වා වන වසර දෙදහස් තුන්සියයක පමණ දීර්ඝ කාල සීමාවකට අයත් බෞද්ධ ආරාමික නටබුන් වලින් පෙනී යයි. ඒ හැරුණු කොට ලෝක ප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට බෙහෙවින් සමාන හා ඒ යුගයට, එනම් ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසට අයත් බවට සැලකෙන රැස් වෙහෙර හෙවත් ‛සැස්සේරුව’ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු ඉපැරණි බෞද්ධ පූජනීය ස්ථානවල නටබුන් සහ ඉපැරණි ශිලා ලේඛන රාශියක් මෙම ප්‍රදේශය අවට තවමත් දක්නට තිබේ. 


වර්තමානය 


පැරණි වන්නි හත්පත්තුවේ ගැමි ජීවිතය යම් තාක් දුරට එලෙසින්ම විදහා දැක්වෙන දිවුල්ගනේ සහ ඒ අවට ප්‍රදේශය පුරාණ වැව් මත පදනම් වූ කෘෂිකාර්මික පසුබිමකින් යුක්ත සොබා දහමින් අනූන සුන්දර පරිසර පද්ධතියකි. තැන් තැන් වල දැකිය හැකි ස්වාභාවික වනාන්තර සේම ද්විතීයික වනාන්තර, හේන් කුඹුරු ආදියෙන් හෙබි මෙහි ජන ජීවිතය ද තවමත් සැලකිය යුතු අයුරින් නාගරීකරණය වෙත යොමු වී ඇති බවක් නොපෙනෙයි. මෙම ග්‍රාම නාමය වර්තමානයේ අතිශය ප්‍රසිද්ධත්වයට පත්වීමට මෙම ගම් පියසේ ජන්ම ලාභය ලත් කරුණාරත්න දිවුල්ගනේ නම් ප්‍රබුද්ධ සංගීතවේදියාගේ ජනප්‍රියත්වයද බෙහෙවින් ඉවහල්ව ඇති බව නොරහසකි. 

සොබා සංසදය 

ඉහත සඳහන් පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ පිටිසරබද ගම්මානයක් සතු ආවේණිකතා සහ පිටිසර ගැමියා සතු සරල චාම් අව්‍යාජ දිවි පෙවෙත යම් ඇගැයුමකට ලක් කෙරෙන අතරේ මිනිසා තුරුලතා සහ සතා සීපාවා ගේ යහපැවැත්ම තහවුරු කෙරෙන වාතය ජලය සහ පස යන ජෛවමය සාධක සුරැකීමේ අරමුණින් ඉහත සඳහන් සංවිධානය බිහි වී ඇත. 

කේන්ද්‍රස්ථානය 

කිසිදු ජාතික ආගමික භේදයකින් තොර අවිහිංසාවාදී සහ පාරිසරික සංවිධානයක් වන මෙහි කේන්ද්‍රස්ථානය ඇහැටුවැව දිවුල්ගනේ පුරාණ දිඹුලගල රාජමහා විහාරය වන අතර මෙම සංසදයේ ගරු අනුශාසකත්වය දරනුයේ එම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියන් විසිනි. 

අරමුණ 

මෙම සංසදයේ ප්‍රධාන අරමුණ වනුයේ මිනිහා ගහකොළ සහ සතා සීපාවා කෙරෙහි වඩාත් මිත්‍රශීලී, සහනශීලී ආකල්ප වත්මන් සමාජය පුරා පැතිරවීමය. එමෙන්ම වාතය ජලය පස යන ජෛවමය සම්පත් සුරැකීම කෙරෙහි නූතන සමාජය තුළ නව උනන්දුවක් සහ පෙළඹවීමක් ඇති කිරීමය. 

සම්පත් සහ ආධාර 

 
මෙය කිසිදු දේශීය හෝ විදේශීය ආධාර ප්‍රභවයක් නොමැති සංසදයකි. මෙහි ඉදිරි ප්‍රවර්ධන සහ ව්‍යාප්ති කටයුතු උදෙසා අවශ්‍ය සම්පත් සහ ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් අදාල කාරුණිකයන්ගේ සහ එවන් සංවිධාන වල අවධානය මතු අපේක්ෂා කෙරේ. 


යෝජිත ව්‍යාපෘති 



පැරණි වන්නි හත්පත්තුවේ සාම්ප්‍රයික කෘෂිකර්මය මත පදනම් වූ ගැමි ජීවන රටාව සහ ප්‍රදේශයේ වෘක්ෂලතා සහ සත්ව ප්‍රජාව සම්බන්ධ අධ්‍යයනය කිරීමට රිසි උසස් අධ්‍යාපනයේ යෙදෙන සිසුන්, සමාජ සහ මානව විද්‍යා ක්ෂේත්‍ර සම්බන්ධ ගවේෂකයන්, මාධ්‍යවේදීන්, පරිසරවේදීන් සහ පරිසර ලෝලීන් ඇතුළු සාමාන්‍ය ජනතාව වෙත සාම්ප්‍රදායික හේන් ගොවිතැන පිළිබඳ සජීවී ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමේ වැඩ සටහනකට දැනට මුල පිරී ඇත. 

මෙහිදී මේ සඳහා පැමිණෙන අමුත්තන්ට සාම්ප්‍රදායික හේන් ගොවිතැන පිළිබඳ අත්දැකීම් ලබනු පිණිස ‛උඩ පැළක’ රාත්‍රී නවාතැන් සපයා දීම,
හේන් ගොවියන්ගේ ආහාර පානාදිය ලබාදීම සහ හේන් ගොවිතැන පිළිබඳ ප්‍රදේශවාසීන් සතු සාම්ප්‍රදායික දැනුම් අත්දැකීම් අමුත්තන් අතර බෙදා දීම ආදී සේවාවන් මෙහිදී අපේක්ෂිතය. එමෙන්ම මෙම ප්‍රදේශයට අතිශයින් සුලබ වනඅලි - මිනිස් ගැටුම පිළිබඳ විවිධ පාර්ශ්වයන් ඔස්සේ අධ්‍යයනය කරන්නවුන්ට ඒක පාර්ශවීය නොවී ඉහත සඳහන් දෙපාර්ශ්වයටම සහනශීලී විසදුම් ලද හැකි අන්දමින් කරුණු විෂ්ලේෂණය කිරීමේ වැඩ සටහනක් ද ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙනු ඇත. 

සාමාජිකත්වය 


ජාති ආගම් ස්ත්‍රී පුරුෂ හෝ වෙනත් කිසිදු භේදයකින් තොරව මෙම සංසදයේ සාමාජිකත්වය ලබා ගත හැක. 077-3596107 හෝ 071-9044044 යන දුරකථන අංක හෝ divulnature@gmail.com යන ඊමේල් ලිපිනය ඔස්සේ ඒ සම්බන්ධ වැඩිදුර විස්තර දැන ගත හැක. 

අපගේ ෆේස්බුක් පිටුවට මෙතැනින් පිවිසිය හැකියි.

දිවුල්ගනේ සොබා සංසදයේ අනුබද්ධිත සංවිධානය අහිංසා ශ්‍රී ලංකා https://www.facebook.com/ahinsasrilankapage http://ahinsasrilanka.info/

No comments:

Post a Comment