Wednesday, July 1, 2015

නාකොළගනේ වනාන්තරය අභය භූමියක් කරන්න - Urge to develop the Nakolagane Forest into a Santuary


ලංකාවේ වැඩි ම අලි - මිනිස් ගැටුමක් පවතින කලාපය ලෙස සැලකෙන වයඹ කලාපය තුළ ආරක්ෂිත වනජීවී වාසස්ථානවලින් පරිබාහිරව බොහෝ වැව් හා හුදෙකලා වූ වනාන්තර කුට්ටි ආශ‍්‍රිත ව සැලකිය යුතු අලි ගහනයක් ජීවත් වේ. එම සතුන් දහවල් කාලයේ රැී සිටීමට මෙම වනාන්තර කුට්ටි භාවිතා කරන අතර රාත‍්‍රී කාලයේ දී වගා බිම්වලට හා වැව් ආශ‍්‍රිත ප‍්‍රදේශ වලට පැමිණේ. එවන් වනාන්තර ප‍්‍රදේශ විවිධ සංවර්ධන ව්‍යාපෘති හා වාණිජ වගාවන් සඳහා යොදා ගැනීම හේතුවෙන් මේ ප‍්‍රදේශයේ අලි - මිනිස් ගැටුම තව තවත් වර්ධනය වන ස්වභාවයක් අද වන විට දක්නට ලැබේ. ඒ තත්ත්වයට මේ වන විට ගොදුරු වෙමින් පවතින්නේ වයඹ පලාතේ, කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පිහිටි නාකොලගනේ වනාන්තරයයි.

ඇහැටුවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි නාකොළගනේ වනාන්තරය, නාකොළගනේ රජමහ විහාරයට අයත් නින්දගම් ඉඩමකි. වනාන්තරයෙන් වැසී පවතින මෙම භූමිය හා ඒ ආශි‍්‍රත ව පිහිටි වැව් පද්ධතිය අලි - ඇතුන්ගේ සුවිශේෂී වාසස්ථානයකි. නමුත් එම ප‍්‍රදේශයේ වනාන්තර එළි පෙහෙළි කර වාණිජ වගාවන් සඳහා මේ වන විට යොදා ගනිමින් පවතී. ඒ හේතුවෙන් මේ ප‍්‍රදේශයේ අලි - මිනිස් ගැටුම වර්ධනය වන ස්වභාවයක් පෙනෙන්නට තිබේ.


කුඩා හා මහ වැව් 25 කට වඩා වැඩි ප‍්‍රමාණයකින් සැදුම්ලත් වැව් පද්ධතියකින් හා ජල පෝෂක වනාන්තර වලින් සැදුම්ලත් මේ සමස්ත ප‍්‍රදේශය අක්කර 5000 ක් පුරා පැතිර තිබෙන අලි - ඇතුන්ගේ පෝෂක භූමියක් පමණක් නොව ප‍්‍රධාන අලි මංකඩකි. මේ භූමිය තුළ අක්කර 2700 ක් පමණ වන නාකොළගනේ රජ මහා විහාරයට අයත් නින්දගම් ඉඩම් පිහිටා ඇති අතර ඒ තුළ වැව්, වනාන්තර ප‍්‍රදේශ හා ජනාවාස පිහිටා තිබේ. මීට අමතරව මෙම සමස්ත ප‍්‍රදේශයේම හේන් වගා බිම්, කුඹුරු ඉඩම්, වැව් පද්ධති, වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ බිම් හා ගංගාශි‍්‍රත වනාන්තර වැනි විවිධ පරිසර පද්ධති බොහොමයක් දැක ගත හැකි ය.

මෙම නින්දගම් ඉඩම හා සම්බන්ධ වනාන්තර ප‍්‍රදේශ කිහිපයක් වෙයි. දකුණු මායිම ආශ‍්‍රිත ව කතාකරනකන්ද හා මීගස්පිටිය - මඩදෙනිගම වනාන්තරය පිහිටා ඇති අතර නැගෙනහිර මායිමේ අත්තනපොල රජයේ කැලය පිහිටා තිබේ. මේ සියලූ වනාන්තර වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර වැස්මක් සහිත වේ.



මේ නින්දගම් ඉඩම තුළ පුරාවිද්‍යාත්මකව වැදගත් වන ස්ථාන කිහිපයක් පිහිටා තිබේ. ඉන් ප‍්‍රධාන වන්නේ නාකොළගනේ රජමහ විහාරය හා සම්බන්ධ ගල්ලෙන් විහාරය සහ කටාරන් සහිත ගල්ලෙන් ය. මීට අමතර ව ගුරුගොඩ පුරාවිද්‍යා රක්ෂිත භූමිය පිහිටා ඇති අතර එම ස්ථානයේ නටබුන් වූ වෙහෙරක් හා විහාර සංකීර්ණයක් පිහිටා තිබේ. එම ස්ථානයේ මේ වන විට පුරවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණීම් කටයුතු සිදු කරනු ලැබේ. මීට අමතර ව හුණුගල්ලෑව වැවේ, වැව් බැම්මේ පුරාවිද්‍යාත්මක ව වැදගත්වන පැරණි මායිම් ගල් කණුවක් හමු වී තිබේ.

නින්දගම් ඉඩම තුළ ගම්මාන හතරක් පිහිටා තිබේ. පවුල් 76 ක් පමණ ජීවත් වන ඇතිනිමලේ ගම, පවුල් 7 ක් පමණ ජීවත් වන හිරිගොල්ලාගම, පවුල් 23 ක් පමණ ජීවත් වන ආඩිගම හා පවුල් 98 ක් පමණ ජීවත් වන ඒරියාව ගම ඒ අතර වෙයි.

මෙම නින්දගම් ඉඩම් පසුගිය කාලසීමාව තුළ අක‍්‍රමවත් ලෙස පරිහරණය කිරීම හේතුවෙන් නිසි ලෙස භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් ව ඇත. ඒ හේතුවෙන් ම මේ ආශ‍්‍රිත ප‍්‍රදේශවල අලි - මිනිස් ගැටුම වර්ධනය වෙමින් තිබේ. නින්දගම් ඉඩම් ලෙස පවතින ජල පෝෂක වනාන්තර බිම්වල මහ පරිමාණ වාණිජ වගා බිම් ඇති කිරීම, ගල්කොරි පවත්වා ගෙන යාම, පස් කැපීම සඳහා යොදා ගැනීම, හේන් වගාවන් සඳහා අක‍්‍රමවත් ලෙස එළිපෙහෙළි කිරීම, අක‍්‍රමවත් ලෙස ජනාවාස පිහිටු වීම හා අක‍්‍රමවත්ව විදුලි වැටවල් ස්ථාපිත කිරීම යන හානිකර ක‍්‍රියාමාර්ගවල ප‍්‍රතිඵලයක් ලෙස අලි - මිනිස් ගැටුම වර්ධනය වීම, භූමිය අස්ථාවර වීම හා භූමියේ ඵලදායීතාවය අඩු වීම, භූගත ජල මට්ටම අඩු වීම වැනි හේතූන් නිසා සමාජීය ප‍්‍රශ්න බොහොමයක් උද්ගතව තිබේ.


මේ තත්ත්වය පාලනය කිරීම සඳහා මේ ප‍්‍රදේශය තුළ නිසි ඉඩම් භාවිත ක‍්‍රමවේදයක් සකස් කළ යුතු ව ඇත. අක‍්‍රමවත්ව සිදු කරන සංවර්ධන කටයුතු විධිමත් කිරීම මෙන්ම හානිකර මානව ක‍්‍රියාකාරකම් නතර කිරීමට පියවර ගැනීම හා වනාන්තර පද්ධති එකිනෙකට සම්බන්ධ කිරීම මෙන්ම අවට ප‍්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත වනාන්තර හා මෙම වනාන්තර කුට්ටි සම්බන්ධ කිරීම කළ යුතු ව ඇත. මීට අමතර ව වැව් පද්ධති සකස් කිරීම හා ප‍්‍රතිසංස්කරණය කිරීම මෙන්ම ජල පෝෂක වනාත්තර බිම් ප‍්‍රදේශ සුරක්ෂිත කිරීම තුළින් මේ ප‍්‍රදේශයේ ජල සුරක්ෂිතතාවය ඇති කළ යුතු ව තිබේ. එමගින් ප‍්‍රජාවගේ කෘෂි හා පානීය ජල සුරක්ෂිතතාව ඇති වන අතර අලි - මිනිස් ගැටුම පාලනයට ද එම තත්ත්වය ඉවහල් වෙනු ඇත.

හුදෙකලා වනාන්තර කුට්ටි ඒකාබද්ධ කිරීමෙන් අවහිර වී ඇති අලින්ගේ සංක‍්‍රමණික ගමන් මාර්ග සම්බන්ධ කළ හැකි අතර දහවල් කාලයේ දී ජනාවාස ආශ‍්‍රිත වනාන්තර කුට්ටිවල අලි රැඳී සිටිමින් රාත‍්‍රී කාලයේ දී ග‍්‍රාමීය ප‍්‍රදේශවලට හා වගා බිම්වලට පැමිණ සිදු කරන හානි අවම කර ගැනීමට ද ඒ තත්ත්වය ඉවහල් වේ. මෙමගින් අලි - මිනිස් ගැටුම පාලනය කළ හැකි වන අතර අලින්ට අවශ්‍ය පානීය ජල ප‍්‍රභවයන් නිසි පරිදි ලබා දීමෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවලට පිවිසීම බොහෝ දුරට අඩු කළ හැකි ය.

අදාළ නින්දගම් ඉඩම් තුළ හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ මහ වැව් හා කුඩා වැව් විශාල ප‍්‍රමාණයක් පිහිටා ඇති අතර වැඩි ප‍්‍රමාණයක් කුඩා වැව් වේ. කුඩා වැව් වැසි ජලයෙන් පමණක් පෝෂණය වේ. මානක්කුලමයාගම වැව, හුණුගල්ලෑව වැව, අතරගල්ල වැව, ගුරුගොඩ වැව, ඒරියාව වැව, පල්ලේරියාව වැව, ඉකිරිවත්තේගම වැව, අස්වැද්දුම වැව, කරගස්සන වැව, ඌරපොලයාගම වැව, ඇතිනිමලේ වැව, මීගස් වැව, කදුබොඩයාගම වැව, කඩවල වැව, කිවුලේගම වැව, නැකතිකොන් වැව, කුඩා මීගස්පිටිය වැව, කැලේගම වැව, කොතලවැටිය වැව, මහ මීගස්පිටිය වැව, දඹෑ වැව, අන්දර වැව, කිරිබත් පෑලැස්ස වැව හා ගනේපතාන වැව ඒ අතර වේ.



අතරගල්ල වැව හා ඒරියාව වැව ජලජ පක්ෂීන් බහුල ව ජීවත් වන ප‍්‍රදේශයකි. අලින් බහුල ව වාර්තා වන්නේ පල්ලේරියාව වැව, ඉකිරියවත්තේගම වැව, අස්වැද්දුම වැව හා හුණුගල්ලෑව යන වැව් ආශි‍්‍රතව ය. හුණුගල්ලෑව වැව, මානක්කුලමයාගම වැව, ගුරුගොඩ වැව, ඉකිරිවත්තේගම වැව, අස්වැද්දුම වැව, කදුබොඩයාගම වැව, ඇතිනිමලේ වැව හා මීගස් වැව යන වැව් ප‍්‍රතිසංස්කරණය කළ යුතු මට්ටමේ පවතින අතර ඒවා නිසි පරිදි සැකසීමෙන් අලි - ඇතුන්ගේ පෝෂක බිම් ප‍්‍රදේශ සුරක්ෂිත කිරීමේ හැකියාව ඇත.

නින්දගම් ඉඩමට පිටතින් පිහිටන වැව් කිහිපයක් වේ. ඒ අතුරින් පාලූකඩවල වැව ප‍්‍රධාන වැවකි. මේ වැවේ, වැව් පිටිය හා උපරිම ජල රැු`දවුම් කලාපය නින්දගම් ඉඩම තුළට ද ව්‍යාප්ත ව තිබේ. ඊට අමතර ව මහගල්ගමුව වැව, බඩල්ගම වැව, අඹකොල වැව ආදී සුවිශේෂී වැව් කිහිපයක් ම මේ ඉඩම වටා ප‍්‍රදේශයේ ව්‍යාප්තව පවතී.

සමස්ථයක් ලෙස නාකෙළගනේ වනාන්තරය පුරා ම අලි - ඇතුන් සැරිසරන බවට සාධක පවතී. නමුත් අලි - ඇතුන් ප‍්‍රධාන වශයෙන් භාවිතා කරන ප‍්‍රදේශ කීපයක් වේ. ඒ අතුුරින් වැඩිම අලි ගහන ඝනත්වයක් වාර්තා වන්නේ පාලූකඩවල වැවේ, වැව් පිටියේ ය. මේ වැව් පිටිය නින්දගම් ඉඩමට ඇතුළත් වේ. පාලූකඩවල වැවට පැමිණෙන අලි දහවල් කාලයේ රැඳී සිටින්නේ නින්දගම් ඉඩම තුළ පිහිටන වනාන්තර කුට්ටිවල ය.


පල්ලේරීයාව වැව තවත් වැඩි ම අලි ගහනයක් වාර්තාවන ප‍්‍රදේශයකි. මේ වැව ආශ‍්‍රිත ව නින්දගම් ඉඩමට පිටතින් රජයේ කැලයක් වන කතාකරන කන්දපිහිටා තිබේ. එම ප‍්‍රදේශයේ සිට මේ වැව ආශ‍්‍රිත ප‍්‍රදේශයට අලි පැමිණේ. මීට අමතර ව ඉකිරිවත්තේගම වැව, අස්වැද්දුම වැව හා හුණුගල්ලෑව ආශ‍්‍රිත ප‍්‍රදේශවල වැඩි අලි ගහනයක් වාර්තා වේ. නින්දගම් ඉඩම තුළ පිහිටන අනෙක් වනාන්තර ප‍්‍රදේශ අලි - ඇතුන් දහවල් කාලයේ රැදී සිටීමට භාවිතා කරන බව අධ්‍යයන මඟින් තහවුරු වී තිබේ.

නින්දගම් ඉඩම තුළට අලි සංක‍්‍රමණය වන මාර්ග කීපයක් ඇති අතර සංක‍්‍රමණය වන අලි නින්දගම් ඉඩම පුරා විසිරීම සිදු වන මාර්ග කිහිපයක් ද වේ. නින්දගම් ඉඩමට අලි සංක‍්‍රමණය වන ප‍්‍රධාන මාර්ග 6කි. විල්පත්තුව, රාජාංගනය, ගිරිබාව, ගල්ලෑව හරහා හුණුගල්ලෑව ප‍්‍රදේශයට අලින් සංක‍්‍රමණය වේ. එතැන් සිට පාලූකඩවල වැවට අලි ගමන් කරයි. කහල්ල - පල්ලකැලේ සිටින අලි මඩගල්ල, හාතිගමුව හරහා මී ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශයට පැමිණ මොරගස්වැව, ඉහලගම, උඩකොටුව හරහා අඹකොල වැවට පැමිණ එතනින් මෙම නින්දගම් ඉඩමට පැමිණේ. මහව සිටින අලි මහකඩුවාව, රජ්ජලේගම, මැඬියාව හරහා අඹකොල වැවට පැමිණ එතැන් සිට නින්දගම් ඉඩමට පැමිණේ. මේ මාර්ගය ඔස්සේ පැමිණෙන්නේ අඩු අලි - ඇතුන් ප‍්‍රමාණයකි. ඉගිනිමිටිය ජලාශයේ සිට තේක්ක වන වගාවට පැමිණෙන අලි එතැන් සිට පාලූකඩවල වැවට පැමිණ ඉන් පසූව නින්දගම් ඉඩම පුරා ව්‍යාප්ත වේ. කහල්ල - පල්ලේකැලේ හා සියඹලන්ගමුව වැවේ සිටින අලින් ගල්ගිරිය කන්ද පාමුල ඔස්සේ රැස්වෙහෙර කන්දට පැමිණ එතැනින් අත්තනපොල රජයේ කැලය හරහා මෙම නින්දගම් ඉඩමට පැමිණේ. මෙය ඉතාම පැරණි අලි සංක‍්‍රමණික මාර්ගයක් ලෙස සැලකේ. මීට අමතරව දේවගිරිපුර සිට කරගස්සන වැව හරහා හුණුගල්ලෑව ප‍්‍රදේශයට හා පාලූකඩවල වැවට අලි සංක‍්‍රමණය වේ.


මෙසේ නින්දගම් ඉඩමට සංක‍්‍රමණය වන අලි ආකාර කිහිපයකින් වනාන්තර ප‍්‍රදේශය පුරා ව්‍යාප්ත වේ. අත්තනපොල රජයේ කැලය හරහා නින්දගම් ඉඩමට පැමිණෙන අලි එතැන් සිට හුණුගල්ලෑව හරහා පාලූකඩවල වැවට පැමිණේ. පාලූකඩවල වැවේ සිටින අලි අතරගල්ල වැව, පල්ලේරියාව වැව, ඒරියාව වැව හරහා ඉකිරිවත්තේගම වැව දක්වා නින්දගම් ඉඩමේ බටහිර, නිරිතදිග හා දකුණු ප‍්‍රදේශවල ව්‍යාප්ත වේ.

2014 වසරේ මාර්තු මාසයේ අවස්ථා දෙකක දී මෙම ලියුම්කරු හා බන්දුල බැබරැුන්ද මහතා විසින් මෙම වනාන්තරයේ කෙටි සත්ත්ව විවිධත්ව අධ්‍යයනයක් සිදු කරන ලදී. ඒ අනුව මෙම නින්දගම් ඉඩම තුළ විවිධ පරිසර පද්ධති ගණනාවක් පිහිටන බව අනාවරණය විය. වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැලෑ බිම්, වියළි තෘණ භූමි හා ගංඟාශ‍්‍රිත වනාන්තර ප‍්‍රමුඛ ව දැක ගත හැකි ය. මීට අමතර ව වැව් හා වැව් පිටි ආශ‍්‍රිත ව පිටාර තැනි බිම් දැක ගත හැකි වේ. මෙම කෙටි අධ්‍යයනයේ දී පක්ෂි, උරග, ක්ෂීරපායී හා සමනළුන් යන සත්ත්ව කාණ්ඩ 4ට අයත් විශේෂ 118 ක් වාර්තා කිරීමට හැකි වීම විශේෂත්වයකි. ඒ අතර ලංකාවට ආවේණික විශේෂ 5ක් වාර්තා කිරීමට හැකි විය. 2012 රතු දත්ත ලේඛනයට අනුව ආසන්න තර්ජිත මට්ටමේ සිටින එක් විශේෂයක් හා තර්ජිත මට්ටමේ සිටින එක් විශේෂයක් අධ්‍යයන ප‍්‍රදේශයෙන් වාර්තා විය.
අධ්‍යයනයේ දී පක්ෂි විශේෂ 75ක් වාර්තා වූ අතර ඉන් විශේෂ 4ක් ලංකාවට ආවේණික වේ. මෙම පක්ෂීන් තෙත් බිම් ආශ‍්‍රිත හා වනාන්තර වාසී විශේෂ ලෙස කොටස් දෙකකින් යුක්ත වේ. බොහෝ පක්ෂි විශේෂවල කැදලි තනන ප‍්‍රදේශයක් ලෙස ද මේ වනාන්තර ප‍්‍රදේශ භාවිතා වේ. අධ්‍යයන කාල සීමාව තුළ දී වාර්තා වූ සමනළ විශේෂ ගණන 25 කි. එක් ආවේණික විශේෂයක් ඇතුළත් ක්ෂීරපායී විශේෂ 12ක් මෙම ප‍්‍රදේශයෙන් වාර්තා විය. අධ්‍යයනයේ දී වාර්තා වූ උරග විශේෂ ගණන 6කි.



මෙවන් විශාල ජෛව ප‍්‍රජාවක් වාර්තා වන ප‍්‍රදේශයක් තුළ පිහිටි, වැඩිම අලි - ඇතුන් ප‍්‍රමාණයක් ජීවත් වන පාලූකඩවල වැව ඉහත්තාවේ සුවිශේෂී ජල පෝෂක ප‍්‍රදේශය තුළ අද වන විට සමාගම් දෙකක් විසින් වාණීජ වගා ව්‍යාපෘති දෙකක් කියාත්මක කිරීමට වනාන්තර එළි පෙහෙළි කරමින් ඉඩම් මැනීම් කටයුතු සිදු කරමින් පවතී. නමුත් ඒ සියල්ල සිදු කරනු ලබන්නේ නිසි පාරිසරික අනුමැතියක් ලබා ගැනීමකින් තොරවය.

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1 කට වැඩි ඉඩම් ප‍්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ‍්‍රිත නොවන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප‍්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප‍්‍රථමයෙන් පාරිසරික බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිද් කළ යුතු ව ඇත.

මීට අමතරව මෙම පනතට අනුව ප‍්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින 859/14 අංක දරන ගැසට් නිවේදනයට අනුව, පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්චයේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය.

1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප‍්‍රඥප්තියට අනුව ප‍්‍රකාශිත 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1කට වැඩි ඉඩම් ප‍්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ‍්‍රිත නොවන ප‍්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථම හෝ හෙක්ටයාර 20කට වැඩි භූමි ප‍්‍රදේශයක් එළි කිරීමට ප‍්‍රථම හෝ පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්චයේ සිට මීටර 100ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය.

1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සහා අනුමැතිය ලබා ගත යුතු.

එපමණක් නොව මෙවන් මහ පරිමාණ වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර වගා ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් කුරුණෑගල දිස්ති‍්‍රක් ඉඩම් පරිහරණ කමිටුවේ නිර්දේශ පමණක් නොව අදාළ සියළු රාජ්‍ය ආයතන වල අනුමැතිය ද ලබා ගත යුතු ය. එවන් කිසිදු අනුමැතියකින් තොරව පාලූකඩවල වැව් ඉහත්තාවේ ජල පෝෂක වනාන්තර හා අලි - ඇතුන්ගේ වාසස්ථාන විනාශ කරමින් මාර්ග සකස් කර මැනීම් කටයුතු සිදු කිරීම ඉතාම හානිකර හා නීති විරෝධී කි‍්‍රයාවකි. මේ නිසා අදාළ රාජ්‍ය අංශ මේ සම්බන්ධයෙන් වහාම කි‍්‍රයාත්මක විය යුතුව ඇත.

වැව් පද්ධතිය ඇතුළුව මෙම සමස්ත වනාන්තර ප‍්‍රදේශයේ ජෛව විද්‍යාත්මක වටිනාකම, පුරා විද්‍යාත්මක වටිනාකම, ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස ඇති වටිනාකම සැලකිල්ලට ගෙන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනත යටතේ අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කළ යුතුව ඇත. මෙම පනතේ 2 වන වගන්තියේ (2* වන උප වගන්තිය යටතේ අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ දී නින්දගම් ඉඩම් පැවතීම ගැටළුවක් නොවන අතර එම ඉඩම් රජයට පවරා ගැනීමකින් තොරව අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ නෛතික හැකියාව ඇත.

මේ අයුරින් මෙම සමස්ත ප‍්‍රදේශය ආරක්ෂා නොකළහොත් ඉතාම කෙටි කලක දී මෙම ප‍්‍රදේශයේ වනාන්තර පද්ධති හායනයට ලක් කිරීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් මෙම ප‍්‍රදේශයේ උද්ගත විය හැකි අතරම මෙම ප‍්‍රදේශයේ වැව් මත පදනම් වූ කෘෂි කර්මාන්තය ද කෙටි කලකින් ම විනාශයට ලක් වනු ඇත.


ලිව්වේ -  සජීව චාමිකර - පරිසර සංරක්ෂණ භාරය

Monday, June 8, 2015

දිවුල්ගනේ අවට සොබා සිරිය - Natural Beauty around Divulgane






























අහිංසා ශ්‍රී ලංකා පළමු මහජන වෛද්‍ය සායනය - Ahinsa Sri Lanka First Health Camp


‛අහිංසා ශ්‍රී ලංකා’ සංවිධානය විසින් මෙහෙයවන ලද ප්‍රථම මහජන වෛද්‍ය සායනය පසුගිය අප්‍රේල් 4 වැනි සෙනසුරාදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව, දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජමහා විහාරස්ථානයේදී පවත්වනු ලැබිණි. මේ වෛද්‍ය සායනය පවත්වන ලද්දේ වයඹ පළාතේ අලි - මිනිස් ගැටුම පිළිබඳව වැඩිදුර කරුණු විමසා බැලීම සඳහා අහිංසා ශ්‍රී ලංකා සාමාජික පිරිසක් පසුගිය දා පුරාණ වන්නි හත්පත්තුවට අයත් ගල්ගමුව, ඇහැටුවැව, රැස්වෙහෙර ආදී ප්‍රදේශවල කළ සංචාරයකට සමිගාමීවය. එහිදී වයඹ පළාතේ වන අලි තර්ජනයට ලක්ව තිබෙන දිවුල්ගනේ, මඩදොඹේ, ඇතිනිමලේ, ගල්ලෑව, කදුරුවැව, මුදියැන්නෑගම, බෝගස්වැව, විකාදෙනිගම, පොතානගම, කත්නෝරුව ආදී ගම්මානවල ගැමියන්ගෙන් අලි - මිනිස් ගැටුම පිළිබඳ අදහස් විමසීමක් ද කරනු ලැබිණි. 




අහිංසා ශ්‍රී ලංකා සමාරම්භක තිලක් සේනාසිංහ මහතාගේ අදහසකට අනුව ගල්ගමුව යූ.බී. වන්නිනායක ජාතික පාසලේ විදුහල්පති සහ ඇහැටුවැව, දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමිපාණන්ගේ අනුශාසකත්වය යටතේ මෙම වෛද්‍ය සායනය සංවිධානය කරන ලද්දේ පේරාදෙණිය, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ සැළසුම් ප්‍රධානී වෛද්‍ය සුගත් විජේවර්ධන මහතා සහ මහනුවර මහ රෝහලේ ළමා ශල්‍ය වෛද්‍ය අංශයේ වෛද්‍ය මංජුල සේනාරච්චි මහතා විසිනි. ඖෂධ සඳහා වූ බරපැනවලින් කොටසක් ඉතාලියේ මිලානෝ හි පදිංචි ලක්මිණි වෙදමුල්ල මහත්මිය විසින් දරනු ලැබිණ. අසරණ සතුන්ගේ හිමිකම් සහ සුභසාධනය වෙනුවෙන් නිරතුරුවම ක්ර්‍‍රියාකරන අහිංසා ශ්‍රී ලංකා සංවිධානය ඉදිරියේදී ද අලි -මිනිස් ගැටුම පවතින ප්‍රදේශවලට ගොස් එම පළාත්වල ගම්වාසීන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් කරුණු විමසා ඒ සඳහා කිසියම් තිරසාර යෝජනාවලියක් බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම ඉදිරියේදී එවැනි ගම්මානවල වැසියන් සඳහා ද මෙවන් වෛද්‍ය සායන සහ වෙනත් සුභසාධන වැඩසටහන් සංවිධානය කිරීමට ද ‛අහිංසා ශ්‍රී ලංකා’ බලාපොරොත්තු වේ.

උපුටා ගැන්ම
https://www.facebook.com/ahinsasrilankapage

මොකක්ද මේ දිවුල්ගනේ සොබා සංසදය?. - What is Divulgane Nature Society?


හැඳින්වීම 

දිවුල්ගනේ යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතට කුරුණෑගල දිස්ත්‍රික්කයට, ගල්ගමුව මැතිවරණ බල ප්‍රදේශයට සහ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානයකි. පැරණි භූමි සිතියමවල දැක්වෙන අන්දමට ‛වන්නි හත්පත්තුව’ නමින් හැඳින්වුණු සීමාව තුළ පිහිටි මෙම ගම්මානය සතුව ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසෙන් ඇරඹෙන ඉපැරණි ඉතිහාසයක් ඇත. ඒ බව එම ගමේ පිහිටා ඇති දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජ මහා විහාර භූමියේ අදත් දැකිය හැකි ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ පමණ සිට මහනුවර යුගයේ අග භාගය දක්වා වන වසර දෙදහස් තුන්සියයක පමණ දීර්ඝ කාල සීමාවකට අයත් බෞද්ධ ආරාමික නටබුන් වලින් පෙනී යයි. ඒ හැරුණු කොට ලෝක ප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට බෙහෙවින් සමාන හා ඒ යුගයට, එනම් ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසට අයත් බවට සැලකෙන රැස් වෙහෙර හෙවත් ‛සැස්සේරුව’ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු ඉපැරණි බෞද්ධ පූජනීය ස්ථානවල නටබුන් සහ ඉපැරණි ශිලා ලේඛන රාශියක් මෙම ප්‍රදේශය අවට තවමත් දක්නට තිබේ. 


වර්තමානය 


පැරණි වන්නි හත්පත්තුවේ ගැමි ජීවිතය යම් තාක් දුරට එලෙසින්ම විදහා දැක්වෙන දිවුල්ගනේ සහ ඒ අවට ප්‍රදේශය පුරාණ වැව් මත පදනම් වූ කෘෂිකාර්මික පසුබිමකින් යුක්ත සොබා දහමින් අනූන සුන්දර පරිසර පද්ධතියකි. තැන් තැන් වල දැකිය හැකි ස්වාභාවික වනාන්තර සේම ද්විතීයික වනාන්තර, හේන් කුඹුරු ආදියෙන් හෙබි මෙහි ජන ජීවිතය ද තවමත් සැලකිය යුතු අයුරින් නාගරීකරණය වෙත යොමු වී ඇති බවක් නොපෙනෙයි. මෙම ග්‍රාම නාමය වර්තමානයේ අතිශය ප්‍රසිද්ධත්වයට පත්වීමට මෙම ගම් පියසේ ජන්ම ලාභය ලත් කරුණාරත්න දිවුල්ගනේ නම් ප්‍රබුද්ධ සංගීතවේදියාගේ ජනප්‍රියත්වයද බෙහෙවින් ඉවහල්ව ඇති බව නොරහසකි. 

සොබා සංසදය 

ඉහත සඳහන් පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ පිටිසරබද ගම්මානයක් සතු ආවේණිකතා සහ පිටිසර ගැමියා සතු සරල චාම් අව්‍යාජ දිවි පෙවෙත යම් ඇගැයුමකට ලක් කෙරෙන අතරේ මිනිසා තුරුලතා සහ සතා සීපාවා ගේ යහපැවැත්ම තහවුරු කෙරෙන වාතය ජලය සහ පස යන ජෛවමය සාධක සුරැකීමේ අරමුණින් ඉහත සඳහන් සංවිධානය බිහි වී ඇත. 

කේන්ද්‍රස්ථානය 

කිසිදු ජාතික ආගමික භේදයකින් තොර අවිහිංසාවාදී සහ පාරිසරික සංවිධානයක් වන මෙහි කේන්ද්‍රස්ථානය ඇහැටුවැව දිවුල්ගනේ පුරාණ දිඹුලගල රාජමහා විහාරය වන අතර මෙම සංසදයේ ගරු අනුශාසකත්වය දරනුයේ එම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියන් විසිනි. 

අරමුණ 

මෙම සංසදයේ ප්‍රධාන අරමුණ වනුයේ මිනිහා ගහකොළ සහ සතා සීපාවා කෙරෙහි වඩාත් මිත්‍රශීලී, සහනශීලී ආකල්ප වත්මන් සමාජය පුරා පැතිරවීමය. එමෙන්ම වාතය ජලය පස යන ජෛවමය සම්පත් සුරැකීම කෙරෙහි නූතන සමාජය තුළ නව උනන්දුවක් සහ පෙළඹවීමක් ඇති කිරීමය. 

සම්පත් සහ ආධාර 

 
මෙය කිසිදු දේශීය හෝ විදේශීය ආධාර ප්‍රභවයක් නොමැති සංසදයකි. මෙහි ඉදිරි ප්‍රවර්ධන සහ ව්‍යාප්ති කටයුතු උදෙසා අවශ්‍ය සම්පත් සහ ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් අදාල කාරුණිකයන්ගේ සහ එවන් සංවිධාන වල අවධානය මතු අපේක්ෂා කෙරේ. 


යෝජිත ව්‍යාපෘති 



පැරණි වන්නි හත්පත්තුවේ සාම්ප්‍රයික කෘෂිකර්මය මත පදනම් වූ ගැමි ජීවන රටාව සහ ප්‍රදේශයේ වෘක්ෂලතා සහ සත්ව ප්‍රජාව සම්බන්ධ අධ්‍යයනය කිරීමට රිසි උසස් අධ්‍යාපනයේ යෙදෙන සිසුන්, සමාජ සහ මානව විද්‍යා ක්ෂේත්‍ර සම්බන්ධ ගවේෂකයන්, මාධ්‍යවේදීන්, පරිසරවේදීන් සහ පරිසර ලෝලීන් ඇතුළු සාමාන්‍ය ජනතාව වෙත සාම්ප්‍රදායික හේන් ගොවිතැන පිළිබඳ සජීවී ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමේ වැඩ සටහනකට දැනට මුල පිරී ඇත. 

මෙහිදී මේ සඳහා පැමිණෙන අමුත්තන්ට සාම්ප්‍රදායික හේන් ගොවිතැන පිළිබඳ අත්දැකීම් ලබනු පිණිස ‛උඩ පැළක’ රාත්‍රී නවාතැන් සපයා දීම,
හේන් ගොවියන්ගේ ආහාර පානාදිය ලබාදීම සහ හේන් ගොවිතැන පිළිබඳ ප්‍රදේශවාසීන් සතු සාම්ප්‍රදායික දැනුම් අත්දැකීම් අමුත්තන් අතර බෙදා දීම ආදී සේවාවන් මෙහිදී අපේක්ෂිතය. එමෙන්ම මෙම ප්‍රදේශයට අතිශයින් සුලබ වනඅලි - මිනිස් ගැටුම පිළිබඳ විවිධ පාර්ශ්වයන් ඔස්සේ අධ්‍යයනය කරන්නවුන්ට ඒක පාර්ශවීය නොවී ඉහත සඳහන් දෙපාර්ශ්වයටම සහනශීලී විසදුම් ලද හැකි අන්දමින් කරුණු විෂ්ලේෂණය කිරීමේ වැඩ සටහනක් ද ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙනු ඇත. 

සාමාජිකත්වය 


ජාති ආගම් ස්ත්‍රී පුරුෂ හෝ වෙනත් කිසිදු භේදයකින් තොරව මෙම සංසදයේ සාමාජිකත්වය ලබා ගත හැක. 077-3596107 හෝ 071-9044044 යන දුරකථන අංක හෝ divulnature@gmail.com යන ඊමේල් ලිපිනය ඔස්සේ ඒ සම්බන්ධ වැඩිදුර විස්තර දැන ගත හැක. 

අපගේ ෆේස්බුක් පිටුවට මෙතැනින් පිවිසිය හැකියි.

දිවුල්ගනේ සොබා සංසදයේ අනුබද්ධිත සංවිධානය අහිංසා ශ්‍රී ලංකා https://www.facebook.com/ahinsasrilankapage http://ahinsasrilanka.info/